• Thu. Apr 18th, 2024

උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ දී තවදුරටත් පහළට

ByAuthor

May 24, 2020

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 මාර්තු මාසයේ පැවති සියයට 7.0හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.9 දක්වා පහළ ගියේ ය. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම සහ 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 මාර්තු මාසයේ දී සියයට 14.1හි පැවති ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය, 2020 අප්‍රේල් මාසයේ දී සියයට 12.2 දක්වා පහළ ගියේ ය. මේ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ද, 2020 මාර්තු මාසයේ දී පැවති සියයට 1.8හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 1.1 දක්වා පහත වැටුණි.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2020 මාර්තු මාසයේ පැවති සියයට 4.9හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය.

2020 අප්‍රේල් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට -0.3ක් ලෙස වාර්තා වූ අතර, ආහාර බෝගවල සෘතුමය අඛණ්ඩ සැපයුම හේතුවෙන් ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් පහළ යෑම මේ සඳහා බලපාන ලදී. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි එළවළු, පලතුරු, ලොකුළූණු සහ බිත්තර මිල ගණන් මෙම මාසය තුළ දී පහළ යන ලදී.

මේ අතර 2020 අප්‍රේල් මාසයේ දී ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් නොවෙනස්ව පැවතුණි. COVID-19 වසංගතය රට තුළ ව්‍යාප්ත වීමත් සමග පැනවූ රට වසා දැමීමේ (lockdown) කාලසීමාව තුළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සහ සේවා සඳහා ඇති ඉල්ලුම පහළ යෑම ද මේ සඳහා යම්තාක් දුරකට දායක විය.

තවද, ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ දී සියයට 3.2 හි නොවෙනස්ව පැවති අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 මාර්තු මාසයේ දී පැවති සියයට 5.2 හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.0 ක් දක්වා පහළ යන ලදී.

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *