• Thu. Apr 18th, 2024

ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු වීමට මග පාදන, තොරතුරු තාක්ෂණය පිළිබඳ BCS වෘත්තීය උපාධි ඩිප්ලෝමා පාඨමාලාව

ByAuthor

Dec 8, 2020

පරිගණක තාක්ෂණය සඳහා වරලත් ආයතනය වන බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), පරිගණක අධ්‍යාපනය හා පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් අන්තර්ජාතික, උසස් අධ්‍යාපන සුදුසුකම් (Higher Education Qualification -HEQ) පාඨමාලා පිරි නමමින් සිසුන් සවිබල ගැන්වීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකි. එම අරමුණ අනුව, මේ වන විට 10,000 කට අධික සිසුන් සංඛ්‍යාවක්, ශ්‍රී ලංකාවේ පිළිගත් සමාගම් රාශියක් ආශ්‍රිතව වෘත්තීය නිපුණතාවන්ගෙන් සවිබල ගැන්වීමට ආයතනය සමත් වී තිබේ. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ වෘත්තීය නිපුණතා, හැසිරීම් සහ ආචාර ධාර්මික භාවිතයන් පිළිබඳ ඉහළම ප්‍රමිතීන් අනුගමනය කරන ස්වාධීන ආයතනයක් ලෙසින් BCS හඳුනා ගත හැකි අතර, UK Royal Charter සුදුසුකමද ආයතනය සතුව පවතී. තොරතුරු තාක්‍ෂණික උසස් අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ප්‍රමිතීන් අනුව පවත්වා ගැනීම පිණිස, බ්‍රිතාන්‍ය රාජ්‍ය ආයතනයක් වන Ofqual (Office of Qualifications and Examinations Regulation) මගින් එය නියාමනයට ලක් වේ.

අද වන විට මුළු මහත් ලෝකයම, යල් පැන ගිය තාක්ෂණික ක්‍රමවේද අතහැර ඩිජිටල්කරණය කරා ගමන් කරමින් තිබෙන අතර, එම නව පරිවර්තනයෙහි සුවිශේෂී භූමිකාවක් තොරතුරු තාක්ෂණය මගින් ඉටු කෙරේ. සෞඛ්‍ය සේවා,‍ ආර්ථිකය, ජාත්‍යන්තර සේවා, කෘෂිකර්මාන්තය, ධීවර හා ක්‍රීඩා යනාදී අංශ ඇතුළුව සමස්ත ක්ෂේත්‍රයන්හි ක්‍රියාකාරී වර්ධනයට තොරතුරු තාක්ෂණය ඉවහල් වී තිබේ. එමෙන්ම, ලොව පුරා තරුණ වැඩිහිටි දෙපාර්ශවයම, වර්තමානයේ නව තාක්‍ෂණය වැලඳ ගනිමින් සිටින අතර, ස්වකීය අභිලාෂ සාක්ෂාත් කර ගැනීම සඳහා එහි ඇති වටිනාකමද ඔවුහු මැනවින් හැඳිනගෙන සිටිති. එවැනි පසුබිමක තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය සුදුසුකම් සකස් කර ගැනීම මගින්, දේශීය හා ජාත්‍යන්තර ඉහළම මට්ටමේ වෘත්තීය අවස්ථාවන් වන මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව, කෘතිම බුද්ධිය, සයිබර් ආරක්ෂාව, තොරතුරු තාක්ෂණ උපදේශනය, IoT යෙදවුම්/වෙබ් සංවර්ධනය, ජාල පරිපාලනය, Data Science, Cloud Architecture ඇතුළු ඉහළම මට්ටමේ වෘත්තීය මංපෙත් පාදා ගැනීමට සිසුන්ට අවස්ථාව සැලසේ.

තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වෘත්තීය තත්ත්වයක් ගොඩ නගා ගැනීම සඳහා ශක්තිමත් අත්තිවාරමක් වශයෙන්, ඉහළම මට්ටටමේ සුදුසුකම් පිළිබඳව අවධානයක් යොමු කරන සිසුන් වෙනුවෙන්, BCS තොරතුරු තාක්ෂණය සඳහා උසස් අධ්‍යාපන සුදුසුකම්  (HEQ) පාඨමාලා නිර්මාණය කර තිබේ. එම පාඨමාලා සැලසුම් කර ඇත්තේ, සිසුන්ට පූර්ණ කාලීනව හෝ අර්ධ-කාලීනව අධ්‍යාපනය හැදෑරීම සඳහා ඉඩකඩ සැලෙසෙන පරිදිය. HEQ පාඨමාලා වැඩසටහන ප්‍රධාන වශයෙන් පාඨමාලා තුනක් යටතේ පැවැත්වේ. එනම්, තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව (Certificate in IT), තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව ( Diploma in IT) සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ වෘත්තීය උපාධි පාඨමාලාව (Professional Graduate Diploma in IT) යනුවෙනි. මෙම සෑම පාඨමාලාවක් මගින්ම, මෘදුකාංග සංවර්ධනය, පරිගණක ජාල සහ දත්ත පදනම් පද්ධති ආදී වශයෙන්, අදාළ මොඩියුලයන් වෙන් වෙන්ව විස්තරාත්මකව ආවරණය කෙරේ. සිසුන් තොරතුරු තාක්‍ෂණය පිළිබඳ විශේෂ නිපුණතා වර්ධනය කර ගැනීමට ඉඩ සලසන මූලික පාඨමාලා සම්පූර්ණ කළ යුතු අතර, ඔවුනට තෝරා ගැනීම සඳහා මොඩියුල ද පවතී. පාඨමාලා විෂය නිර්දේශය, පුහුණු පත්‍රිකා, මග පෙන්වීම අනුමත පුහුණු ආයතන සහ අවශ්‍ය අධ්‍යයන කාල වේලාවන් පිළිබඳ වැඩි විස්තර bcs.org/heq ඔස්සේ දැන ගත හැකිය.

වත්මන් කෝවිඩ් වසංගතය සම්බන්ධ ගෝලීය තත්ත්වය හා රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය පරිගණක සංගමය සමීපව අධ්‍යයනය කර ඇති අතර, එවැනි පසුබිමක වුවත් සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීමට කැප වී සිටී. 2021 මැයි මස පැවැත්වෙන විභාගය සඳහා BCS අනුමත පුහුණු ආයතනවල දැන් ලියාපදිංචි කිරීම් ආරම්භ කර තිබෙන අතර, අන්තර්ජාලය හා ඊ-ලර්නින් අවකාශ ඔස්සේ, සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව සලසා තිබේ. එමෙන්ම, 2020 නොවැම්බර් මස පැවැත්වුණු විභාගයට පෙනී සිටීමට නොහැකි වුණු  සිසුන්ට, 2021 මැයි මස පැවැත්වෙන විභාගයට පෙනී සිටීම සඳහා පුනරීක්ෂණ පන්ති පවත්වමින් අඛණ්ඩ සහය සැලසීමටද මෙම ආයතනය කටයුතු කරයි.

විභාග සහ පාඨමාලාවන්ට අමතරව, තොරතුරු ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ඉහළ නැංවීමේ හා තොරතුරු තාක්ෂණය මහජන හිතසුව පිණිස යොදා ගැනීමේ ඒකායන දැක්ම අනුව කටයුතු කරන තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත්, සුවිශේෂී තොරතුරු තාක්ෂණ ජාලයක් පවත්වා ගෙන යන ආයතනයක් ලෙසින් බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS)  හැඳින්විය හැකිය. HEQ පාඨමාලා හදාරන සෑම ශිෂ්‍යයකුම, BCS ප්‍රජාවේ සාමාජිකයෙකු බවට පත්වන අතර, ලොව පුරා සාමාජිකයින් 70,000 ක් සමග සම්බන්ධ වීමට හැකියාව එමගින් සැලසෙයි. ඒ සඳහා සාමාජික වෙබ් අඩවිය වන MyBCS මගින් සිසුන්ට විශිෂ්ටතම වෘත්තීය අවස්ථා උදා කර ගැනීම පිණිස, වෘත්තීය උපදෙස්, 1000 කට අධික විද්‍යුත් ඉගෙනුම් ක්‍රියාකාරකම් මෙන්ම, පාඨමාලා මාලා හා උපදේශනය, නවතම පද්ධති, ප්‍රවෘත්ති සහ තොරතුරු, නොමිලේ විද්‍යුත් පොත් ඇතුළු තවත් බොහෝ දේ අඩංගු වේ. මේ පිළිබඳ වැඩි විස්තර bcs.org/join වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *