• Tue. Apr 16th, 2024

ජාතික අර්බුධයක්ව පවතින කොවිඩ්19 වසංගත තත්වය මැඩපැවැත්වීම උදෙසා වූ රජයේ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් සපයන සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයට සිදුවන බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන්, සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) රජයෙන් ඉල්ලා සිටියි. 

ByAuthor

Jul 1, 2021

ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) විසින් මෙලෙස රජයෙන් ඉල්ලුම් කර සිටින්නේ ජාතික ආර්ථිකයේ වර්ධනය උදෙසා දායකත්වය ලබා දෙන ප්‍රධාන සේවා කාණ්ඩයක් වන සිල්ලර වෙළදාම් අංශයේ ස්ථායීතාවය සහ ඉදිරි වර්ධනය උදෙසා, සියලු දෙනා එකට එක්ව තීරණ ගැනීම සුභවාදී වන බවයි. විශේෂයෙන්ම ගොවීන්,  ව්‍යවසායකයින්, භාණ්ඩ බෙදාහැරීමේ නියුතු නියෝජිතයන්,  සැපයුම්කරුවන් ඇතුලු රැකියා ක්ෂේත්‍ර ගණනාවක ජනතාවට ජීවනාලිය සපයන දේශීය සිල්ලර වෙළඳාම්  අංශය, රජය විසින් ක්‍රියාත්මක කරන ඇතැම් ක්ෂණික ක්‍රියාමාර්ග හමුවේ විශාල ලෙස අඩපණ වේ. මේ හමුවේ දිනකට මිලියන ගණනක මුදල් ආර්ථිකයට අහිමි වී යනුයේ ජන ජීවිතද අඩපණ කරමිනි. 

SLRA විසින් රජයෙන් ඉල්ලුම් කර සිටින්නේ මෙවැනි ක්ෂේත්‍රයට බලපෑම් සිදුකරන විවිධ තීන්දු තීරණ ගැනීමේ යාන්ත්‍රණයට ඔවුන්වද  සහභාගී කරවා ගැනීම මෙම ක්ෂේත්‍රයේ පැවැත්ම සහ සංවර්ධනය උදෙසා ඉවහල් වන බවයි. 

ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන SLRA  සිල්ලර කර්මාන්තයේ අංශ රැසක් නියෝජනය කරයි. සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG); සුපිරි වෙළඳසැල්, ඇඳුම් පැළඳුම්, විලාසිතා සහ ස්වර්ණාභරණ; නිවාස; ගෘහස්ථ සහ පාරිභෝගික භාණ්ඩ; පාවහන් සහ උපාංග;  විද්‍යුත් වාණිජකරණය (E-Commerce); සංචලතාව (Mobility); විනෝදාස්වාදය, අවන්හල් සහ ක්ෂණික සේවා අවන්හල්; නිවාස සැපයුම්කරුවන්, සෞඛ්‍යාරක්ෂාව සහ සුවතාවය යන අංශ ඒ අතර වේ.

පසුගියදා SLRA විසින් පවත්වන ලද මාර්ගගත සාකච්ඡාවකදී ඔවුන් පවසා සිටියේ, ශ්‍රී ලංකා ආර්ථිකයට හා සමාජීය සංවර්ධනය උදෙසා විශාල බලපෑමක් සිදුකළ හැකි සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය ආර්ථිකයේ කොටසක් වන බැවින්,  මෙහි වැදගත්කම සියලුම පාර්ශවයන් විසින් වටහා ගතයුතු බවයි. 

මෙහිදී ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය තුළ සිල්ලර වෙළදාම් අංශයේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින් SLRA හි නිර්මාතෘ / සභාපති හුසේන් සාදික් මහතා පවසා සිටියේ මෙවැන්නකි. “තාක්ෂණය හා සම්බන්ධ වූ නූතන සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රය දැන් රටතුල වර්ධනය වෙමින් පවතින අතර, දැනට දේශීය ආර්ථිකය වෙත බිලියන ගණනක දායකත්වයක් සිල්ලර වෙළදාම් අංශය සපයයි.  මිලියනයකට අධික පිරිසකට ඍජු රැකියා අවස්ථා සමඟින් වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කර ඇති සිල්ලර වෙළඳ අංශය දේශීයව තරුණ තරුණියන් රැසකගේ රැකියා සිහිනයන් යථාර්තයක් බවට පත්කර ඇත.  කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේත් අප ක්ෂේත්‍රය ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ කාර්යයේදී විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. තවද, වාර්ෂිකව සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් අංශය දේශීයව විශාල අදායමක් ජනනය කරන,  විශාල සාප්පු සංකීරණයන්හි බිලියන ගණනක් ආයෝජනය කර ඇත. එබැවින් දේශීයව ඉහළ ආර්ථික වැදගත්කමක් ඇති මෙම ක්ෂේත්‍රය පරිහානියට පත් නොවී රැකගැනීමට රජයටද විශාල වගකීමක් පැවරෙනු ඇත.” 

“ආර්ථික සංවර්ධනය ඉලක්කයන් වෙත සාර්ථක ලෙස ගමන් කිරීමට නම් සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ දායකත්වය මඟ හැරිය නොහැකිය.  සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන නියෝජිතයින්ගේ මාර්ගෝපදේශනය නොමැතිව රජය විසින් ගන්නා ඇතැම් තීරණ ඍණාත්මක ලෙස මෙම ක්ෂේත්‍රයේ සෑම අංශයක් කෙරෙහිම බලපෑම් සිදු කරයි. විශේෂයෙන්ම මෙහිදී මතක් කළ යුතු කරුණක් වන්නේ, lockdown තත්ත්වය හමුවේ, කිසිඳු රටක සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රය හා බැඳුණු කඩ සාප්පු සහ සුපිරි වෙළඳ සැල් සම්පූර්ණ වසා දැමීමක් සිදු නොකළ අතර, විවිධ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඒවා ක්‍රියාත්මක වීමයි.  නමුත් දේශීයව අපට මුහුණ පෑමට සිදුවූ තත්ත්වය හමුවේ, වෙළඳුන් විසින් රැස්කර ගත් භාණ්ඩ තොග විශාල වශයෙන් විනාශ කර දැමීමට සිදුවීමත්, ඒ හමුවේ විශාල පාඩු රැසක් විඳදරා ගැනීමට වෙළඳුන්ට සිදුවීමත් ඉතා අභාග්‍ය සම්පන්නය.  මේ හේතුවෙන් රැකියා රැසක් අහිමි වීමත්, සමාජීය වශයෙන් ජන ජීවිතය විශාල ලෙස අඩපණ වීමත් සිදුවිය. නිවසේ සිට වැඩ කිරීමේ ප්‍රවණතා වර්ධනය වීමත් සමඟ, දෛනිකව නිවසකට අවශ්‍ය භාණ්ඩ හා සේවා  ප්‍රමාණයේ ඉහළ වර්ධනයක් පවතින කාලසීමාවක, කඩ සාප්පු වසා සිටීමෙන් ආර්ථිකමය වශයෙන් කිසිඳු ධනාත්මක ප්‍රතිඵලයක් හිමි නොවනු ඇත. මෙහිදී  ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජිතයන් හා සමඟ මේ පිළිබඳ සාකච්ඡා සිදුකර, ඇතැම් තීරණ වලට එළඹීම සිදුකල යුතුය.”

විශේෂයෙන්ම, මෙම  රට වසා දැමීමේ තත්වයන් (Lockdown) හමුවේ, දැඩි සෞඛ්‍ය නීතීරීති වලට අනුව සිය මෙහෙයුම් ක්‍රියාවලීන් වල නිරත වීමට අවස්ථාව ලබාදීම, ව්‍යාපාරිකයාට මෙන්ම පාරිභෝගිකයාට සහනයක් වනු ඇත. තවද, රුපියලේ අවප්‍රමාණය හමුවේ වූ මූල්‍ය අලාභ අවම කර  ගැනීම සඳහා හැකිනම් ක්ෂේත්‍රය හා සම්බන්ධ විවිධ VAT අයකිරීම්, උපයෝගීතා බදු සහ විදුලිය ඇතුලු විවිධ ගෙවීම් අවම කිරීම කෙරෙහි රජයට සිය අවධානය යොමුකළ හැකිනම් වඩාත් කාලෝචිත වේ.  එලෙසම, සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයන් සංවර්ධනය කිරීමට ලබා ගත් ණය සඳහා වූ ණය පමා සහන කාලයන් දීර්ඝ කිරීම කෙරෙහිද සිය අවධානය යොමු කරන ලෙස (SLRA)  ඉල්ලා සිටියි.  කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන කඩිනම් කරමින්, ආර්ථිකය යථා තත්වයට පත් කර ගැනීමට සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටින්නේ, අඩු සැපයුම් තත්වයන් හමුවේ නිර්මාණය වන අනවශ්‍ය මිල පීඩනය අවම කර ගැනීමටය. 

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *