• Wed. May 31st, 2023

මුදල් නෝට්ටු භාවිතයේ දී සැලකිලිමත් වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

ByAuthor

Mar 12, 2020

වර්තමානයේ දී ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති කොරෝනා වෛරසය, මුදල් නෝට්ටු ස්පර්ශ කිරීම මගින් පැතිරී යාමේ හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ පිළිබඳව අනාවරණය කරමින්, අපිරිසිදු මුදල් නෝට්ටු හරහා කොරෝනා වෛරසය පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ බව The Telegraph පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටී.

“මුදල් නෝට්ටු යනු නිරන්තරයෙන් අතින් අත හුවමාරු වන දෙයක්. එය සෑම වර්ගයකම බැක්ටීරියා හා වෛරසවලට නිරාවණය වෙනවා. මුදල් නෝට්ටු ස්පර්ශ කිරීමෙන් පසු තම මුහුණ ඇල්ලීමෙන් වළකින ලෙස අප ජනතාවට කියනවා“, යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු The Telegraph වෙත පවසා තිබේ.

මේ අතර අද (11) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති  “2020 – ඩිජිටල් ගනුදෙනු වර්ෂය“ ලෙස නම් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

“කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ වර්තමාන ගෝලීය පසුබිම තුළ මුදල් නෝට්ටු හරහා වෛරසය පැතිරී යාමේ හැකියාවක් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන තිබෙනවා. මෙහිදී ඩිජිටල් ගනුදෙනු ක්‍රම භාවිත කිරීම මගින් මුදල් නෝට්ටු භාවිතය අවම කළ හැකියි“, යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මේ අතර දකුණූ කොරියානු මහ බැංකුව පවසන්නේ, දේශීය බැංකුවලින් තමන් වෙත ලැබෙන සියලූම මුදල් නෝට්ටු, දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා රඳවා තබා ගනු ලබන බවයි. වෛරස දින 9 ක් තුළ දී විනාශ වී යන බැවින් එසේ සිදුකරන බව දකුණු කොරියානු මහ බැංකුව පවසයි. මෙහිදී මුදල් නෝට්ටු තත්ත්පර 2 ත් 3ත් අතර කාලයක් සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයක තබා පසුව ඒවා සෙල්සියස් අංශක 42 ක උෂ්ණත්වයක ගබඩා කිරීමෙන් අනතුරුව ඇසුරුම් කරන බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.