• Fri. Apr 26th, 2024

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් – මහ බැංකු අධිපති

ByAuthor

Jun 12, 2020

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව පවතින බවත් මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත බව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි

ශ්‍රී ලංකාවේ මූලය පද්ධතිය සහ මූලය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදුකරනු ලබන තැන්පතු අහිමිවී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයන් පදනේ විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටින බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.

රටේමහජනතාවගේ තැන්පතු බාරගන්නා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන යන වර්ග දෙකේම නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලුම පියවර අඛණ්ඩව ගන්නා බවට ප්‍රතිඥා දෙන බව මහ බැංකු අධිපතිවරයා සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.

මහ බැංකු අධිපතිවරයා කළ සම්පූර්ණ ප්‍රකාශය

‘‘ශ්‍රී ලංකාවේ මූලය පද්ධතිය සහ මූලය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදුකරනු ලබන තැන්පතු අහිමි වී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයෝ පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටිති.

රවට් මහජනතාවගේ තැන්පතු බාරගන්නා බැංකු සහ බැංකු නොවන මූලය ආයතන දෙවර්ගයේම නියාමකයා වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු‍ම පියවර අඛණ්ඩව ගන්නා බවට ප්‍රතිඥා දෙයි. මෙම තත්ත්ව යටතේ මූල්‍ය ආයතන සහ ඒවායේ ස්ථාවරභාවයට අදාළ සත්‍ය තත්ත්ව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මෙම ප්‍රකාශයේ අපේක්ෂාවයි.

‘කොවිඩ්-19’ වසංගතය සහ එහි ප්‍රතිඵල දෙස දේශීය හා ගෝලීය ආර්ථිකවල ඇති වූ මන්දගාමීත්වය නිසා මූලය අංශයේ පමණක් නොව, ආර්ථිකයේ හැම අංශයකම ආර්ථික ක්‍රියාකරකම් සම්බන්ධයෙන් අභියෝගාත්මක වාතාවරණයක් නිර්මාණය වී ඇත. ආර්ථිකයේ මූර්ත සහ මූල්‍ය අංශවල කාර්යසාධනයේ සමීප සම්බන්ධතාවක් පවතී. මූල්‍ය අංශයේ ඉදිරි කාර්යසාධනය දේශීය ව්‍යාපාරවල පැවැත්ම සහ වර්ධනය මත රඳා පවතී. එම නිසා, විවිධ ආකාරයෙන් ආර්ථිකයට අඛණ්ඩව සහාය වන සේ රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අංශයෙන්, විශේෂයෙන්ම, ශක්තිමත් ශේෂ පත්‍ර මත පදනම් වන බැංකු අංශයෙන් ඉල්ලීම් කර ඇත. මෙහිදි අදාළ අභිවයෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අංශයට අවශය ද්‍රවශීලතාව සහ නියාමන සහාය ලබාදෙයි. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීමට පෙරද, 2018 සහ 2019 කාලය තුළ, විශේෂයෙන්ම පෞද්ගලික අංශයට සපයන ලද ණයෙහි වර්ධනය ද, සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය ද මන්දගාමී වීම හේතුවෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය අංශ දෙකෙහිම අක්‍රිය ණය ඉහළ යෑමක් දක්නට ලැබිණි.

මෙම වසංගතය ඇරැඹුණු කාලය වන විටත්, මූර්ත ආර්ථිකයේ වර්ධනය දිරි ගන්වමින් හිතකර බදු ක්‍රමයක් ස්ථාපිත කිරීමත් සහ යෝග්‍ය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වාගැනීමත් ඇතුළුව ආර්ථිකය යළි පණ ගස්වා නඟාසිටුවීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග රජය සහ මහ බැංකුව විසින් ගෙන තිබිණි.

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් තාවකාලිකව පසුබෑමකට ලක් වුව ද, ශ්‍රී ලංකා ආර්ථිකය සහ මූල්‍ය අංශය අඛණ්ඩව ක්‍රියාශීලීවද කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතුව ද පවතිනු ඇතැයි අපි විශ්වාස කරමු. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ඉදිරි කාලපරිච්ඡේදය තුළ මෙම තත්ත්ව වඩාත් ශක්තිමත් වනු ඇත.

සියයට 16ට වඩා ඉහළ මට්ටමක පවතින සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය, සියයට 130ට වඩා ඉහළ මට්ටමක පවතින ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය, සියයට 175ට වඩා ඉහළ මට්ටමක පවතින ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ සියයට 32ට වඩා ඉහළ මට්ටමක පවතින ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය සමඟ බැංකු පද්ධතිය ශක්තිමත්ව පවතී. 2020 පළමු කාර්තුව තුළ අක්‍රිය ණය අනුපාතය යේ තරමක පහළ යෑමක් වාර්තා කර ඇති අතර වෙන් කිරීම් ආවරණ අනුපාතය ද ඉහළ ගොස් තිබේ. නව බදු ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ ලබමින් 2020 පළමු කාර්තුව සඳහා බැංකු අංශයේ බදු පසු ලාභය, පෙර වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙම කාර්යසාධන දර්ශක සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයෙන් සියයට 62වන බැංකු පද්ධතියේ වත්මන් ස්ථායීතාව පිළිබඳව අමතර සහතිකයක් කිසිවකුටත් අවශ්‍ය වේ යැයි මම නොසිතමි.

අපි දැන් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත, විශේෂයෙන්ම බලපත්‍රලාභී මුදල් සමාගම් අංශය වෙත අවධානය යොමු කරමු. ආර්ථිකයේ සාපේක්ෂ වශයෙන් අඩු ආදායම් හිමි කාණ්ඩවල විවිධ ගුණත්වයෙන් යුතු ණය අවශ්‍යතා සපුරාලමින් මෙම ආයතන රටේ මූල්‍ය අංශය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෝටර් රථ ආනයනය සීමා කිරීම වැනි සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග මඟින් මූල්‍ය සමාගම් කෙරෙහි අසමතුලිත බලපෑමක් ඇති කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීමේ අරමුණෙහි කොටසක් ලෙස බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අවශය ද්‍රවශීලතා සහාය ලබා දී ඇති අතරම හදිසි අවස්ථාවල දී මූල්‍ය පද්ධතිය සඳහා සහාය සැපයීමට ද සූදානම්ව සිටී.

මෑතක දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී.හි බලපත්‍රය අවලංගු කිරීමත් සමඟ මෙම ප්‍රකාශය ආරම්භයේදී මා දක්වන ලද පදනම් විරහිත අනුමාන ප්‍රකාශ කිරීම ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීම සහ මෑතකාලීනව තවත් මුදල් සමාගම් කිහිපයකට එරෙහිව නියාමන ක්‍රියාමාර්ග ගනු ලැබුවේ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව තහවුරු කිරීම සඳහා බව මා විසින් අවධාරණය කළ යුතු වේ.

ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. හි බලපත්‍රය අවලංගු කිරීවමන් පසු එහි තැන්පත්කරුවන්ගෙන් සියයට 93ක් එනම් තැන්පත්කරුවන් 135,100ක් සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය හරහා පූර්ණ වන්දි ලබාදීමට අපට දැන් හැකියාවක් ඇත. ඉතිරි තැන්පත්කරුවන් 10,072ට මූලික වශයෙන් එක් තැන්පතු හිමියකුට රු. 600,000ක් දක්වා වන්දි මුදලක් ලැබෙනු ඇත. මීට පෙරදී ද මේ හා සමානව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සහ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් හි බලපත්‍ර අවලංගු කිරීමට කිරීමට අදාළව එම සමාගම්වල තැන්පත්කරුවන්ගෙන් සියයට 95 ක් සඳහා මේ වනවිටත් පූර්ණ වන්දි ලබා දී ඇත.

අධිකරණ කටයුතු හේතුවෙන් ටී.කේ.එෆ්. ෆිනෑන්ස් ලිමිටඩ් හි තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම ප්‍රමාද වී මේ වනතෙක් සියයට 26 කට සීමා වී තිබුණු නමුත් මහ බැංකුව වන්දි ගෙවීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති අතර මෙම සමාගමේ සියලු‍ම තැන්පත්කරුවන් ආවරණය කිරීමට අපේක්ෂා කරයි. ද ෆිනෑන්ස් කොම්පැනි පී.එල්.සී. මුදල් සමාගමේ දිගු කාලයක් පුරාවට පැවති එයටම ආවේණික ගැටලු‍ හේතුවෙන් තැන්පත්කරුවන්ගේ ප්‍රතිලාභ ආරක්ෂා කිරීම සඳහා එම ආයතනය සම්බන්ධයෙන් නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බව මහජනතාව තේරුම් ගනු ඇතැයි මම විශ්වාස කරමි. ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ගනු ලැබූ එවැනි නිවැරදි කිරීමේ නියාමන ක්‍රියාමාර්ග මඟින් සමස්ත බැංකු නොවන මූල්‍ය ආයතන අංශයම අසාර්ථක වී ඇති බවක් අදහස් නොවේ. ඇතැම් බලපත්‍රලාභී මුදල් සමාගම් කුඩා හෝ මධ්‍ය පරිමාණයේ බැංකු ආයතන හා සම මට්ටමක පවතින බව අප විසින් සැබවින්ම නිරීක්ෂෂණය කර ඇත. එබැවින්, අපගේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ තත්ත්වය පිළිබඳ සැකයට හේතු වන පදනම් විරහිත අදහස් සහ ද්වේශ සහගත අනුමාන මඟින් වැරැදි අවබෝධයක් ඇති කර නොගන්නා ලෙස මම මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිමි.

ඉහත කරුණු දැක්වීමට අමතරව මහ බැංකුව අතීතයේදී දැඩිව අවධාරණය කරන ලද බැංකු සහ මූල්‍ය ව්‍යාපාරවල වැදගත් පොදු කරුණක් නැවත අවධාරණය කිරීමට මට ඉඩ ලබාදෙන්න. මහ බැංකුව බලපත්‍ර ලබා දී විවිධ මූල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණය කළ ද එම ආයතනවල සියලු මෙහෙයුම් කටයුතු මහ බැංකුව විසින් දෛනිකව කළමනාකරණය කරනු ලබන බව එයින් අදහස් නොවේ. මෙම ආයතනවල ව්‍යාපාර ආකෘති එකිනෙකට වෙනස් වන අතර ඉහළ ප්‍රතිලාභ උපයන ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් ලබාගන්නා ප්‍රතිලාභ තුළින් තැන්පත්කරුවන්ට විවිධ මට්ටමේ පොලී දීමනා ලබාදීමට ඔවුන්ට හැකි වේ.

එබැවින්, තැන්පතු සඳහා ලබාදෙන ඉහළ පොලී අනුපාතික මඟින් සාමාන්‍යයෙන් අදහස් කරනුයේ අදාළ ආයතන වඩාත් අවදානම් සහගත ව්‍යාපාරවල නිරත වන බව පොදු මහජනතාව සැලකිල්ලට ගත යුතුය.

බැංකු නොවන මූල්‍ය අංශය සම්බන්ධයෙන් මහ බැංකුවේ පණිවුඩය වනුවේ මූල්‍ය ආයතන ඒකාබද්ධ වීම සඳහා ඇති අවශයතාවයි. කුඩා මූල්‍ය ආයතන ශක්තිමත් මූල්‍ය ආයතන සමඟ ඒකාබද්ධ වීම පිළිබඳ සලකා බැලිය යුතුය. ආර්ථිකයේ විශාලත්වය හා සැසඳීමේදී ශ්‍රී ලංකාව තුළ පමණට වඩා වැඩි මූල්‍ය ආයතන ප්‍රමාණයක් පවතින බවට අප විසින් නැවත නැවතත් අවධාරණය කර ඇත. ඒ අතරම, ආනයන මූල්‍යකරණය සහ ඒ හා සම්බන්ධ වෙනත් සාම්ප්‍රදායික ව්‍යාපාරික ක්‍රියාකාරකම් තුළින් ලබන කෙටිකාලීන ලාභ මත පමණක් පදනම් වීම වෙනුවට විශේෂයෙන්ම දේශීය නිෂ්පාදන කටයුතුවලට සහාය වීමට තම ව්‍යාපාර ආකෘති විවිධාංගීකරණය කරන ලෙසත් අපි මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටිමු. ඉහත යෝජනා කර ඇති පරිදි බැංකු නොවන මූල්‍ය ආයතන මෙන්ම බැංකු ආයතන හැසිරවීම සඳහා මහ බැංකුව අනාගතයේදී සිය අධිකාරිය සහ බලතල භාවිත කරනු ඇත.

අවසාන වශයෙන්, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු‍ මෙවලම් මහ බැංකුව විසින් භාවිත කරනු ඇති බවට මම දැඩිව අවධාරණය කිරීමට කැමැත්වතමි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති විය හැකි ආර්ථික හා මූල්‍යමය කඩාවැටීම්වලින් හෝ අනාගතයේ ඇති විය හැකි වෙනත් ඕනෑම අනපේක්ෂිත සිදුවීමකින් මහජනයාගේ තැන්පතු සුරක්ෂිතව තබා ගැනීම සඳහා මහ බැංකුව කැප වී සිටී. තවද, බැංකු හා බැංකු නොවන මූල්‍ය අංශය තුළ අයුක්ති සහගත ලෙස කඩා කප්පල් කිරීම් කිරීමේ අරමුණ ඇතිව ව්‍යාජ හෝ නොමඟ යවන සුළු තොරතුරු පතුරුවා හරින පුද්ගලයන් හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකුව පසුබට නොවන බව ද සඳහන් කළ යුතුය.’’

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *