• Fri. Apr 9th, 2021

රටේ ආර්ථිකය පණ ගන්වන පොල් කර්මාන්තය

ByAuthor

Apr 7, 2021

කොවිඩ් 19 ව්‍යාප්තියක් සමඟ ගෝලීයව සෑම රටකම පාහේ ආර්ථිකයන් විශාල ලෙස කඩා වැටීමකට ලක් වුණු බව අප හොඳින් දන්නා කාරණයක්.  පසුගිය වසරක කාල සීමාව දෙස නැවත හැරී බැලීමේදී පැහැදිළිවම දෘශ්‍යමාන වන කරුණක් වන්නේ ලොව අනෙකුත් රාජ්‍යන් සඳහා මෙන්ම දේශීය ආර්ථිකයට ද කොවිඩ් වසංගතය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි. එම බලපෑමේ ප්‍රමාණය නිවැරදිව මිනුම් කළ නොහැකි වූවත්, බොහෝ සංචාරක, ඇඟලුම් ඇතුළු ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ විවිධ ක්ෂේත්‍ර ගණනාවක පිරිසකට සිය රැකියා අහිමි වූයේ, ඔවුන්ගේ ජීවිත තුළ ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයක් ඇති කරමින්. 

මෙහිදී දේශීය කෘෂි කර්මාන්තය හා බැඳුණු ක්ෂේත්‍රයන් තුළට පසුගිය වසරක කාලය තුළ සිදුවූ බලපෑම අමතක කළ නොහැක්කේ, කෘෂි කර්මාන්තය දේශීය ආර්ථිකය පණ ගැන්වීමෙහිලා සිදු කරන දායකත්වය ඉතා ඉහළ බැවිනි.  තේ, රබර්, පොල් සහ වී යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිභෝජන සහ අපනයන භෝගයි. ඉතිහාසයේ සිටම ශ්‍රී ලංකාව වී ගොවිතැන සඳහා ලොව ප්‍රසිද්ධම රටක් වනවා මෙන්ම ඒ හා සමාන වැදගත් ස්ථානයක් පොල් කර්මාන්තයට ද හිමි වනවා.  ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමය පවසන පරිදි දේශීය පොල් වගාව බොහෝ ග්‍රාමීය පිරිසකගේ ජීවනාලිය වී හමාරයි. 

ඇමරිකානු ඩොලර් බිලියන 36ක ගෝලීය පොල් කර්මාන්තය තුළ,  සිව්වන විශාලතම පොල් නිෂ්පාදකයා ලෙස ශ්‍රී ලංකාව නම් දරා තිබෙන්නේ දේශීය අභිමාන ගෝලීය තලයට රැගෙන යමින්.  විශේෂඥනයින් පෙන්වා දෙන අන්දමට තේ, රබර් සහ අනෙකුත් සම්ප්‍රදායික බෝග හා සැසඳීමේදී පොල් කර්මාන්තය වාර්ෂිකව ඉහළම ආදායම් ලබන කර්මාන්තයක්.   

වාර්ෂිකව හෙක්ටයාරයකට රු.175,000 ක අදායමක් සහ වටිනාකමක් පොල් කර්මාන්තය ජනනය කරන අතර තේ සහ රබර් පිළිවෙලින් රු. 45,000 ක් සහ රු. 50,000ක් වටිනාකම් ලබා දෙයි.   ශ්‍රී ලංකාව තුළ කුඩා හා මධ්‍ය පරිමාණ තෙල් මෝල් 2500 ක පමණ ප්‍රමාණයක් විසින් තෙල් නිෂ්පාදනය සිදු  කළත් ඒ සඳහා විශාල කර්මාන්ත කිහිපයක් පමණක් සම්බන්ධ වී ඇති බව වාර්තා වේ. පොල් සංවර්ධන අධිකාරියට (CDA) අනුව දැනට ශ්‍රී ලංකාවේ පොල් වගාව හෙක්ටයාර මිලියනයකට වඩා වැඩි අතර,  රබර් වගාව සිදුකරන ප්‍රදේශය හෙක්ටයාර 126,700 (2018) ක් පමණක් වේ.

ශ්‍රී ලාංකීය ආර්ථිකය හට දැවැන්ත දායකත්වයක් සපයන ලද මෙම පොල් කර්මාන්තයේ අනාගතය සුභවාදී නොවීමට හේතු රැසක්ද පවතී.

 මධ්‍ය කාලීන පොල් නිෂ්පාදන ප්‍රවණතාවන් දෙස බැලීමේදී (2010 -19) පැහැදිළිවම එහි සුභවාදී මට්ටමක පැවතුනද, වාර්ෂික පොල් නිෂ්පාදන ප්‍රමාණයන්හි සිදුවී ඇති විවිධ උච්චාවචනයන් නොසලකා හැරිය නොහැකිය.  උදාහරණ ලෙස 2012 වර්ෂයේ  බිලියන 2.9ක් වූ පොල් නිෂ්පාදනය, 2013 වර්ෂයේ මිලියන 2.5ක් බවට පත්වී නැවතත් බිලියන 3.05ක් දක්වා වර්ධනය වීමත්, ඉන් පසු නැවතත් සීග්‍ර ලෙස බිලියන 2.45ක් දක්වා පසුබැසීම පෙන්වා දිය හැකිය.  2019 වර්ෂය වන විට පොල් නිෂ්පාදනයේ අගය බිලියන 3කි.

වර්තමාන දේශීය පොල් ඉල්ලුම සලකා බැලීමේදී, වාර්ෂිකව පොල් බිලියන 3.6ක් සඳහා ඉල්ලුමක් පැවතියද,  නිෂ්පාදනය බිලියන 2.5ත්- 2.8ත් අතර අගයක පවතී.  පොල් පර්යේෂණ ආයතනයේ දත්ත අනුව, පොල් නිෂ්පාදන අංශය  දැනට ලක්ෂ හතකට අධික ප්‍රමාණයකට ජීවනාලිය සපයමින්, 135000 කට අධික පිරිසකට රැකියා අවස්ථා සපයා ඇත.  මෙය ඇඟලුම් අංශයේ සේවා නියුක්තියට අභිබවමින් යයි. මේ හේතුවෙන් පොල් නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ පහත වැටීම ඇඟලුම් අංශයට වඩා සමාජ ආර්ථික ව්‍යුහය කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇති කරයි.

2020 දෙසැම්බර් 22 වන දින, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද  “පොල් මත පදනම් වූ කාර්මික පද්ධතියක්” දේශීයව සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනා මාලාවක් අනුමත විණි. ඒ අතර වූ සුවිශේෂී යෝජනාවන් ලෙස,  පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලාංකීය පොල් තෙල් සන්නාමය සුරැකීම සඳහා පාම් තෙල් හෝ වෙනත් තෙල් සමඟ මිශ්‍ර කළ පොල්තෙල් විකිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීම, සෞඛ්‍යට අහිතකර පාම් තෙල් පරිභෝජනය අධෛර්යමත් කිරීම, රජයේ මූලික ප්‍රතිපත්තියක් ලෙස සෞඛ්‍යමත් සමාජයක් බිහි කිරීම සඳහා පොල් තෙල් භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ පිරිපහදු කළ පාම් තෙල් පමණක් ආනයනය කිරීමට අවසර දීම, පොල් කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ලබාගෙන ඇති ණය සඳහා සහන සැලසීම, පොල් වගාව දිරිගැන්වීම සඳහා පොල් වගාවන්හි අන්තර් වගාව, ගොවිතැන සහ වාරිමාර්ග පද්ධති සංවර්ධනය උදෙසා සහන පැකේජ හඳුන්වා දීම ඇතුළත් වේ. 

මෙම යෝජනා දේශීය පොල් කර්මාන්තයේ සංවර්ධනය උදෙසා අවශ්‍ය මූලික අඩිතාලමක් සැපයුවද, ප්‍රමාණවත් නොවේ.  ශ්‍රී ලංකාවේ පොල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා දැඩි ඉල්ලුමක් ගෝලීයව පවතින අතර, මෙම නිෂ්පාදන නිසිලෙස  ප්‍රවර්ධනය කිරීම තුළින් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී ක්‍රියා කල යුතුය.  

මෙම තීරණාත්මක ප්‍රයන්තයේ පළමු පියවර දියත් කිරීම සඳහා කර්මාන්තයේ සියලුම පාර්ශවකරුවන්  එක්විය යුතු අතර, මෙහිදී රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඉදිරි පොල් කර්මාන්තයේ සංවර්ධනයට බෙහෙවින් ඉවහල් වනු ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *