• Wed. Apr 24th, 2024

Plasticcycle වෙතින් ලෝක පරිසරය දිනය වෙනුවෙන්විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක්

ByAuthor

Jul 6, 2021

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්වය ව්‍යාපෘතිය වන Plasticcycle, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් “Plastics: It’s Now or Forever” යන තේමාව යටතේ විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කළේ ය. ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය මුලිනුපුටා දැමීම හා අවම කිරීම සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලික අවධානය යොමුවිය. Plasticcycle හි විධායක ටලිතා පෙරේරා මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම සම්මන්ත්‍රණයට Softlogic Supermarkets (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෘ ඩොල්බි, MAS Holdings හි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (තිරසාරත්ව) අමන්ති පෙරේරා, Biodiversity Sri Lanka (BSL) හි ව්‍යපෘති නිලධාරී රොෂාන් නරසිංහගේ සහ The Pearl Protectors හි සම්බන්ධීකාරක මුදිත කටුවාවල යන මහත්ම මහත්මීහු එක්වූහ.

පරිසර පද්ධතීන් තුළ ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය, එය පාලනය කිරීමේ අරමුණින් නිෂ්පාදකයන් සඳහා හඳුන්වා දී ඇති ‘පුළුල් වූ නිෂ්පාදන වගකීම’ (Extended Producer Responsibility- EPR) ඇතුළු ප්‍රතිපත්තිමය නිර්දේශයන් සහ ඒ ඔස්සේ පරිසරයට හා ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණයේදී මූලික අවධානය යොමු විය. සාගරයේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීම ඉලක්ක කරගත් The Pearl Protectors සංවිධානයේ වැඩසටහන් වලට දායක වී සිටින පාර්ශ්ව විසින් මෙතෙක් ගන්නා ලද පියවර සහ, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට පෞද්ගලික සමාගම් හා ආයතන වල දායකත්වය ලබාගැනීමේ ජාතික පදනමක් වන Biodiversity Sri Lanka විසින් හඳුන්වා දෙන ලද EPR සැලසුම් වල ප්‍රගතිය ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදි.

චක්‍රීය ආර්ථිකයන්ට දායක වන සමාගම් දෙකක් වන MAS Holdings සමාගමේ සහ GLOMARK සුපිරි වෙළඳසැල් ජාලයේ නියෝජිතයෝ තම සමාගම්, කර්මාන්තයන් හා ප්‍රජාවන් තුළ ප්ලාස්ටික් නිසා ඇතිවන බලපෑම අවම කිරීම සම්බන්ධ අභියෝග සහ, එම අභියෝග වලට මුහුණදීම සඳහා තම සමාගම් මගින් ගන්නා ලද පියවර සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

දැනටමත් ක්‍රියාවට නංවා ඇති ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කිරීමෙහි සහ, ඒවායෙහි සීමාවන් හඳුනාගෙන ඉදිරියට යාමෙහි වැදගත්කම පෙන්වා දෙමින් The Pearl Protectors හි ව්‍යපෘති සම්බන්ධීකාරක මුදිත කටුවාවල මහතා මෙසේ පැවසී ය. “සෑම වසරකදීම ප්ලාස්ටික් ටොන් මිලියන 12.7 ක් සාගරයට එකතු වන බව ගණන් බල තිබෙනවා. සාගර අපද්‍රව්‍ය වලින් 50% කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ එක්වරක් පමණක් පාවිච්චි කරන ලද ප්ලාස්ටික් වර්ගයි. මිනිසුන් පාවිච්චි කර බැහැර කිරීමේ සංස්කෘතියකට හුරු වී සිටීම මීට ප්‍රධාන හේතුවක්.”

Extended Producer Responsibility (EPR) සම්බන්ධයෙන් අදහස් දක්වමින් BSL හි ව්‍යාපෘති නිලධාරී රොෂාන් නරසිංහගේ මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “නොර්වේ වැනි රටවල EPR සංකල්පය සාර්ථක වූ බව සත්‍යයක්. එම රටවල වෙළඳපොළට පැමිණෙන ප්ලාස්ටික් බෝතල් වලින් 97% ක් පමණ පසුව ප්‍රතිචක්‍රීකරණය කෙරෙනවා. එහෙත් EPR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් ශ්‍රී ලංකාවේ පාරිභෝගික ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රශ්නය විසඳිය නොහැකි බව අප තේරුම්ගත යුතුයි.

“යෝජිත සැලසුමේ එක් ප්‍රධාන අංගයක් වන්නේ ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීමට නියමිත, වාර්තා කිරීම හා නැවත එක්රැස් කිරීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයයි (Mandatory reporting and collect-back method). මූලික වශයෙන් PET සහ HIPS ප්ලාස්ටික් නිෂ්පාදකයන් ඉලක්ක කර ගනිමින්, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ලංකා වාණිජ මණ්ඩලය සහ BSL යන පාර්ශ්වද සම්බන්ධ කරගෙන මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ප්ලාස්ටික් ඇසුරුම් වෙනුවට වාණිජ වශයෙන් නිෂ්පාදනය කළ හැකි විකල්ප හඳුන්වා දීම සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දායකත්වය සහිතව පර්යේෂණ හා සංවර්ධන අරමුදලක් ස්ථාපිත කිරීම ඇතුළු යෝජනා කිහිපයක් මීට ඇතුළත්.” රොෂාන් නරසිංහගේ මහතා වැඩිදුරටත් පැවසී ය.

පරිභෝජනයෙන් පසු ඉවත දමන ප්ලාස්ටික් කළමනාකරණය කිරීමේදී සමාගම් සතු වගකීම සම්බන්ධයෙන්, Softlogic Supermarkets (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෘ ඩොල්බි මහතා මෙසේ අදහස් දැක්වී ය. “පාරිභෝගික  වෙළඳාම් ක්ෂේත්‍රය මේ වනවිට ප්ලාස්ටික් බෑග් සඳහා ගාස්තුවක් හඳුන්වා දීමට සැලසුම් කරමින් සිටිනවා. මෙය මුලින්ම මෙරට සුපිරි වෙළඳසැල් වල ක්‍රියාත්මක වේවි. කෙසේ වුවත් මූලික අයිතිවාසිකම් පනත අනුව, පාරිභෝගිකයන් භාණ්ඩ වලට මුදල් ගෙවූ පසුව ඔවුන්ට නොමිලේ ප්ලාස්ටික් බෑග් ලබා දීමට වෙළඳසැල් බැඳී සිටිනවා. මෙය GLOMARK සමාගම තමන්ගේ සහ තම පාරිභෝගිකයන්ගේ ප්ලාස්ටික් පිය සටහන අවම කිරීම සඳහා ගන්නා උත්සාහයට බාධාවක් වී පවතින සාධකයක් බව කියන්නට පුළුවන්.”

Plasticcycle මේ වනවිට සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය සහ ලංකා වාණිජ මණ්ඩලය සමග එක්වී, සිල්ලර වෙළඳසැල් වලින් නිකුත් කරනු ලබන ප්ලාස්ටික් බෑග් සඳහා නාමික ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් පරිසර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත. අමාත්‍යාංශයේ අවසරය ලැබුණු පසුව මෙම වැඩපිළිවෙළ මෙරට විශාල පරිමාණයේ සුපිරි වෙළඳසැල් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත වේ. මෙමගින් එකතුව වන මුදල්, අදාළ වෙළඳසැල් මගින් ක්‍රියාත්මක කරනු ලබන ආයතනික ප්‍රජා සත්කාරයන් සඳහා යෙදවෙනු ඇත.

චක්‍රීය ක්‍රමවේදයන්හි වැදගත්කම තවදුරටත් අවධාරණය කරමින්, MAS Holdings හි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (තිරසාරත්ව) අමන්ති පෙරේරා මහත්මිය මෙසේ පැවසුවා ය. “අපගේ ව්‍යාපාර කටයුතු වලදී ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා, අපගේ අභ්‍යන්තර ප්ලාස්ටික් පියසටහන අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් භාවිතයෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම වැනි පියවර රැසක් අප දැනටමත් ගෙන තිබෙනවා. එහෙත් පූර්ණ චක්‍රීයත්වය සාක්ෂාත් කරගැනීමට හැකි වන්නේ අපගේ කැපුම් අංශ වල ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙන්ම භාවිතා කර ඉවත දමන ඇඳුම් පැළඳුම්ද යළිත් නිෂ්පාදන ක්‍රියාවලියට විධිමත් ලෙස ඇතුළු වීම ආරම්භ වීමෙන් පසුවයි. මෙම ඉලක්කය ළඟා කරගන්නා තුරු, අපගේ සන්නාම, සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයන් සමග එක්වී, දැනට පවතින අභියෝගයන් ජයගැනීමට අප උත්සාහ කරනවා.”

2017 වසරේදී ආරම්භ වූ Plasticcycle වැඩසටහන, පරිභෝජනයෙන් පසු ඉවත දමන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ අගය එකතු කළ නිෂ්පාදන (උදා: පිරිසිදු කිරීමේ මෙවලම් වල භාවිතා වන ප්ලාස්ටික් මොනෝෆිලමන්ට් සහ ලොව පුරා රෙදිපිළි නිෂ්පාදන සමාගම් භාවිතා කරන නූල් වර්ග ආදිය) නිපදවීම සඳහා ශ්‍රී ලංකා ප්‍රතිචක්‍රීකරණකරුවන්ගේ සංගමය (Sri Lanka Recyclers Association – SLRA) සහ නිෂ්පාදන සමාගම් සමග එක්ව කටයුතු කරයි.

නිරතුරුව 4R සංකල්පය (Refuse, Reduce, Reuse and Recycle) අවධාරණය කරන Plasticcycle වැඩසටහන මූලික වශයෙන් අංශ 3 කෙරෙහි අවධානය යොමුකර ඇත. එම අංශ 3 නම් භාවිතය අවම කිරීම හා සීමා කිරීම දිරිගැන්වීම, වගකීම්සහගත ලෙස බැහැර කිරීම සඳහා සහය වීම සහ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමයි. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වනවිට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 76 කට අධික ප්‍රමාණයක් එක්රැස් කර, වගකීම්සහගත ලෙස බැහැර කිරීම සඳහා යොමුකර ඇත.

සජීවීව විකාශය කරන ලද මෙම වෙබ් සම්මන්ත්‍රණය දැන් Plasticcycle ෆේස්බුක් පිටුව ඔස්සේ නැරඹිය හැකි වේ.

Plasticcycle යනු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ක්‍රියාවට නංවා ඇති සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියකි. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධව ක්ෂේත‍්‍ර 7 ක් ආවරණය කරන සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක වේ. LMD සඟරාව මගින් අඛණ්ඩව වසර 15 ක් තිස්සේ මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කර ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සේවය කරන සංඛ්‍යාව 14,000 කට අධික ය. World Economic Forum හි පූර්ණ සාමාජිකයෙකු සහ UN Global Compact හි හවුල්කරුවෙකු වන එම සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා ‘අනාගතය වෙනුවෙන් රට සවිබල ගැන්වීම’ යන ප්‍රජා සත්කාර දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් සිටී.

By Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *